බිත්ති පුවත්පත

වේයන්ගොඩ ගෙදරක හැදුවේ නිල් චිත්‍රපටයක්ද?


වැඩිහිටියන්ට පමණක් වූ ‍ලේඛලයෙන් මෙරට චිත්‍රපට ශාලාවල කොතෙකුත් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කර ඇතත් ‍පොලීසිය එම චිත්‍රපට ශාලා වැටලීමට හෝ නළු නිළියන් අත්අඩංගුවට ගන්නට ගියේ නැත. එකී චිත්‍රපටවල අඩනිරුවත් පමණක් නොව නිරුවත් දර්ශන පවා අඩංගුව තිබුණේය. එකී නිරුවත් දර්ශනවලට පණපෙවූ ඇතැම් නිළියන් ප්‍රසිද්ධියේම නිරුවත ගැන කතා කළද ඇතැම් නිළියෝ ඒ නිරුවත් චරිතය රඟපාන්නේ තමන් නොවන බව පැවසූහ. කෙසේනමුදු මහ වැඩිහිටියන්ට පමණක් වෙන් වූ මෙම චිත්‍රපට සිනමාශාලාවල ප්‍රදර්ශනය වූයේ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ අවසර ඇතිවය.

ඇතැම් චිත්‍රපට රැඟුම් පාලක මණ්ඩලය තහනම් කළ අවස්ථාද නැතුවා නොවේ. එහෙත් ඒවා අන්තර්ජාතික වශයෙන් සම්මානයට පවා පාත්‍රවූ අවස්ථාද නැතුවාම නොවේ. මෙරට චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය තහනම් වූවාට අන්තර්ජාලයේ නම් එම චිත්‍රපට නිදහසේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට බාධාවක් නම් නොවීය. එසේ මෙරට ප්‍රදර්ශනයේ තහනම් වූ එවන් චිත්‍රපට රැසක්ම අන්තර්ජාලයෙන් අදටත් බලාගන්නට පුළුවන. එපමණක්ද නොවේ එම චිත්‍රපට වීඩියෝ තැටිකර අලෙවි කිරීම්ද පසුගිය කාලයේ රැල්ලක් ලෙස පැවතුණි.
ඒ වෙනම කතාවකි. මේ සටහන් තබන්නට යන්නේ අන්තර්ජාලයේ ඇති එවන් සිංහල චිත්‍රපට ගොන්නකින් එක් චිත්‍රපටයක් සම්බන්ධයෙන් කෙරුණු ‍පොලිස් විමර්ශනයක් ගැනය. එකී චිත්‍රපටය නිෂ්පාදනය කළ ස්ථානය පවා ‍පොලිසිය එහිදී වටලනු ලැබුවේ චිත්‍රපටය නිෂ්පාදනය කළ තැන පමණක් නොව, එම චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්ෂ, කැමරා ශිල්පියා සහ නළුනිළියන්ද අත්අඩංගුවට ගනිමිනි. ඒ මෑත ඉතිහාසයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමකට සම්බන්ධ පිරිසක්ම අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව එය ලෙස සටහන් තබමිනි.


මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා රූපාවාහිනි නාලිකාවල විකාශය වූ ටෙලි නාට්‍ය කිහිපයකම අධ්‍යක්ෂවරයකි. වැඩිහිටියන්ට පමණක් වූ ඔහුගේ අලුත්ම නිෂ්පාදනයේ නිෂ්පාදකයා, අධ්‍යක්ෂවරයා මෙන්ම කැමරා ශිල්පියා වන්නේද ඔහුය. මෙහි නළුවන් දෙදෙනෙකි. එක් නළුවෙක් ටෙලි නාට්‍යයක සුළු චරිතයක් පමණක් රඟපා ඇති තැනැත්තෙකි. ප්‍රධාන චරිතයට පණ ‍පොවන නළුවා ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් කිහිපයකම නිරන්තරයෙන් දකින්නට හැකි චරිතයකි. ප්‍රධාන නිළිය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්නට නැති වූවත් ඇය නිරූපිකාවකි. වෘත්තියෙන් නිරූපිකාවක් බව කියන ඇය නිරූපණ තරග සඳහාද සහභාගි වන බව සඳහන්ය. ඉංග්‍රීසි සඟරාවල මුල්පිටුවේ ඇගේ අඩනිරුවත් ඡායාරූප දකින්නට ලැබේ.


වැඩිහිටියන්ට පමණක් වූ මේ චිත්‍රපටය නම්කර තිබුණේ ‘තොල්පෙති අතරින්’ ලෙසිනි. අන්තර්ජාලයට පවා එකී චිත්‍රපටය ඇතුළත්කර තිබුණේ වැඩි ප්‍රසිද්ධිය සඳහාය. වීඩියෝ තැටි අලෙවි සල්වල වැඩිහිටියන්ට පමණක් වූ ‍ලේබලයෙන් නිකුත්ව තිබුණු අලුත්ම චිත්‍රපටය අලෙවි වන්නට වූයේ උණු කැවුම් ලෙසිනි.
වැඩිහිටියන්ට පමණක් වූ මේ චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නැරඹූ දහස් ගණනක් අතර සිටි වේයන්ගොඩ තරුණයෙකුගේ විශේෂ අවධානයකට මේ චිත්‍රපටය ලක්වන්නේ එම චිත්‍රපටයේ යම් තැනක දක්නට ලැබෙන යතුරු පැදියක් නිසය. එම යතුරු පැදියේ අංකය ඔහුට හොඳට හුරුපුරුදුය. දැක පුරුදුය. ඒ නිසාම ඔහු ඒ ගැන සොයන්නට ගත්තේය.


වැඩි කාලයක් ඒ සඳහා ඔහුට ගත කිරීමට අවැසි නොවීය. යතුරු පැදිය කාගේ එකක්දැයි මතකයට ආවේය. ඒ වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු නිතර යන එන එකකි. ඒ ගැන ‍පොලීසියට කියන්නට ඔහු සිතුවේය. තම අනන්‍යතාව හෙළිනොකරමින් ඔහු තමා සොයාගත් දේ කියන්නේ වේයන්ගොඩ ‍පොලීසියටය. ඒ දුරකථන ඇමතුමකි.


ඇමතුම දුන්නේ කවුරුන්දැයි වේයන්ගොඩ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක චන්දන කුමාර සොයන්නට ගියේ නැත.  ඔහු තම ‍පොලිස් ප්‍රධානියා වූ ගම්පහ කොට්ඨාසයභාර ‍පොලිස් ප්‍රධානියා වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල ඇමතුවේය. ලද දුරකථන ඇමතුම ගැන කීවේය. මුදිත පුස්සැල්ලගෙන් ලැබෙන්නට වූ උපදෙස් අනුව යමින් චන්දන සිය සගයන් වූ උප ‍පොලිස් පරීක්ෂක සුනිල්, කාන්තා ‍පොලිස් කොස්තාපල්වරියන් වන මල්කානිත්, ප්‍රදීපා සහ කොස්තාපල් පද්මසිරි සමග එක්ව මුලින්ම සොයන්නට වූයේ අදාළ චිත්‍රපටයයි. අන්තර්ජාලයේ සැරි සැරූ ඔවුන් එකී චිත්‍රපටය සොයා ගත්තේ වැඩි වෙහෙසකින් තොරවය.
එකී චිත්‍රපටයේ නළුවන් දෙදෙනෙකි. එක් නිළියකි. නිළිය නිරුවතින් සිටින අවස්ථා කිහිපයකි. වරක ඇය බටහිර අසභ්‍ය චිත්‍රපටයක් නරඹමින් නිරුවත්වන අවස්ථාවකි. තවත් වරක් ඇය නාන කාමරයේ නිරුවතිනි. ඇඳුම් උනා ඇය නිරුවත්වන මෙන්ම නළුවන් සමග නිරුවතින් සිප වැළඳගෙන රමණයේ යෙදෙන අවස්ථාද එහි ඇත්තේය.


මේ චිත්‍රපටය ඒ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබුණාට ඒ ගැන තොරතුරු ලැබුණා මිස ‍පොලීසියට පැමිණිල්ලක් එතෙක් ලැබි තිබුණේ නැත. එබැවින් පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂණයක් පැවැත්වීම නීතිමය වශයෙන් ගැටලුවක් ගෙන දෙන්නට විය. එය එසේ යැයි කියා ‍පොලීසිය ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකර සිටියේ නැත. චිත්‍රපටය රූගතකර ඇත්තේද මන්ත්‍රීවරයාගේ නිවසේ බව අනාවරණය වන්නේ එවිටය. ඒ ගැන මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු ‍පොලීසියට පැමිණිල්ලක් කරන්නට ඉදිරිපත්වන්නේ චිත්‍රපටයක් රූගත කිරීමට යැයි කියා මාස දෙකකට තමාගෙන් ඉල්ලාගත් නිවසේ අසභ්‍ය චිත්‍රපටයක් රූගතකර ඇති බව කියමිනි. ‍පොලිස් විමර්ශන එතැන් සිට ඇරඹෙන්නේ පැමිණිල්ල මුල්කරගෙනය. එම චිත්‍රපටය රූගත කිරීමට තම දෙමහල් නිවසේ ඉහළ මහල දුන්නේ චිත්‍රපටය අසභ්‍ය බව නොදැන බව මන්ත්‍රීවරයා පැවැසූවත් එය කොතරම් විශ්වාස කළ හැකි දැයි ගැටලුවක් ‍පොලීසියට පැන නොනැගුණද නොවේ. එහෙත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට නොයා මන්ත්‍රීවරයාගේ තොරතුරු ඔස්සේ මුලින්ම අල්ලා ගන්නේ නිෂ්පාදකවරයාවය. නළුවන් දෙදෙනා සහ නිළිය අත්අඩංගුවට ගන්නේ පසුවය. ඒ වන විට නිෂ්පාදනය කළ එකී චිත්‍රපටයේ වීඩියෝ තැටි පමණක් 6000ක් වෙළෙඳ‍පොළට නිකුත්කර ඇති බව ‍පොලීසිය දැනගන්නේද
නිෂ්පාදකයාගෙනි. මෙම චිත්‍රපටය වැරැද්දක් ලෙස ඔහු මෙන්ම එහි නිරුවතින් සිටින නිළිය පවා පිළිගන්නේ නැත. අන්තර්ජාලයේ ඕනෑතරම් මෙවන් චිත්‍රපට ඇති බවට තර්කයක් පවා ඇය ගොඩනගන්නීය.‍පොලීසිය පවසන්නේ ඇයට නිරුවත ප්‍රශ්නයක් නොවුණාට මෙරට සමාජයට එය ගැටලුවක් බවය. ඒ අනුව අත්අඩංගුවට ගත් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත්කරන්නේ නිෂ්පාදනය කළ චිත්‍රපටයේ වීඩියෝ තැටි ගොන්නක්ද සමගිනි.


කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැන් ඇත්තේ දැඩි කතාබහකි. වැඩිහිටියන්ට පමණක් වූ ‍ලේබලයෙන් මෙරට ප්‍රදර්ශනය වූ බොහෝ චිත්‍රපටවල නමගිය නිළියන් පවා නිරුවත් වූ අවස්ථා බොහෝය. ඇතැම් චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය තහනම් කරන විට පිට රටවල ප්‍රදර්ශනය කළ්ය. අන්තර්ජාලයට මුදා හැරියේය. වීඩියෝ තැටි අලෙවි කළේය. එහෙත් ඒ චිත්‍රපට නිෂ්පාදකයන් හෝ නළු නිළියන් අල්ලන්නට ‍පොලීසිය ගියේ නැත. අදටත් එවන් චිත්‍රපට රාශියක් අන්තර්ජාලයේ දී දැකගන්නට පුළුවන. ඒ ගැන ‍පොලීසිය නිහඬය. සමාජය තුළ දැන් හඬක් නැගෙන්නේ ඒ ගැනය. තීරණය ඔබ සතුය.

ගයාන් කුමාර වීරසිංහ
උපුටා ගැනීම - ලක්බිම පුවත්පතේ නිල වෙබ් අඩවිය

No comments